ජනක අම්බලම්පිටිය
හැඳින්වීම.
‘මම’, ‘මගේ’ යන හැගීම මිනිසාගේ චින්තන රටාව ට පදනම සකසන මූලික සංකල්ප ද්විත්වයක් ලෙස හැගේ. නමුත් භෞතික ශරීර සැබෑ ලෙස පවත්නා සත්ත්ව පුද්ගල ස්වභාවයක් සේ සළකාගෙන එය ට වසග වී තෘෂ්ණා බරිතව සිදු කරන නොමනා ක්‍රියාවල ආදීනව සමකාලීන සමාජය ට උසුලාගත නොහැකි අන්දමින් වර්ධනය වී ඇත. නොයෙකුත් සමාජ විරෝධී හැසිරීම්, වංචා, දූෂණ ක්‍රියා, හොරකම් වැඩි වශයෙන් සිදු වෙමින් පවතී. එසේම මෙම සමාජ තත්ත්වය සාමන්‍ය කාරණයක් යැයි හැගෙන මට්ටම ට මිනිසුන්ගේ සිත් හැඩගැසී ඇත. බුදුදහම අනුව එවැනි මානව ක්‍රියාවල අවසාන අරමුණ වනුයේ පංච ඉන්ද්රියයන් පිනවීමේ කාම තෘෂ්ණාව මිස අන් දෙයක් නොවේ. නීති-රීති පනවා, දැඩි දඩුවම් පමුණුවා හෝ එවැනි හැසිරීම් වළක්වා ගැනීමට නොහැකි වී ඇත. එමගින් ගම්‍ය වන්නේ බාහිර සීමා මායිම් යොදා පුද්ගල අභ්‍යන්තරයෙන් පැනනගින තෘෂ්ණාව ට වැට බැඳීම් සිදු කළ නොහැකි බව නොවේද?. ස්වයං අවබෝධයකින් ප්රහාණය කළ යුතු චිත්ත සන්තානයේ නිදන්ගතව ඇති ක්ලේශයක් බව නොවේ ද?.
බෞද්ධයින් ලෙස නිවැරදිව සරණාගමනයෙහි පිහිටා යථාර්ථය පිළිසිඳ දැක තම තමන්ගේ සිත සුවපත් කරගන්නේ නම් ආචාරධර්මීය පදනමක් සහිත බොහෝ සමාජ ගැටලූවලට විසඳුම් ලැබේ. සමාජ හා පුද්ගල යහපැවැත්ම ඇතිකර ගැනීම උදෙසා බෞද්ධයින් ලෙස පිළිපැදිය යුතු, අනුගමනය කළ යුතු ගති පැවතුම්, ආචාර ධර්ම ආදී බොහෝ දේ බුදුරජාණන්වහන්සේ වදාළ සේක. නමුත් බොහෝ මිනිසුන් ඒ පිළිබඳ උනන්දුවක් හා සැලකිල්ලක් නොදක්වමින් ආගමික අරමුණක් නොමැතිව එදිනෙදා ජීවිත ගෙවා දමයි. මේ හේතුවෙන් ධර්මය පිළිපැදීම පමණක් නොව බෞද්ධකම හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඒ වෙනුවට නාමික බෞද්ධකමක් ශේෂ වී ඇත.
බෞද්ධයෙකු ලෙස වෙසක්, පොසෙන්, ඇසළ වැනි ප්‍රධාන පොහොය දිනක හෝ යොදාගත් දිනයකදී උත්සවශ්‍රීයෙන් දානයක් දීම, පිංකමක් සිදු කිරීම, පන්සල් යාම, පොහොය දින ට පන්සලේ ධර්ම ශාලාව ට වී කාලය ගත කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඊට හේතුව වන්නේ අනෙකුත් දිනවලදී ද සමාජ හා පුද්ගල අයහපත ගෙන දෙන හැසිරීමක හා අකුසලයෙහි යෙදීම බෞද්ධයෙකු ට සුදුසු නොවීමයි. එසේ සිදු කරන්නේ නම් සැබැවින්ම ඉතිරිවන්නේ නාමික බෞද්ධකමක් පමණි. මෙම ලිපිය මගින් එම තත්ත්වය විස්තර කෙරෙන සමාජ කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර තිබේ.
තෘෂ්ණාව හා උපාදානය.
බෞද්ධයින් අතර වැඩි වශයෙන් කතාබහ ට ලක්වන සංකල්ප දෙකකි. නමුත් තෘෂ්ණාව ගෙවා දැමීම කතාබහ කිරීම තරම් සරල හා පහසු කාරණයක් නොවේ. ‘උපාදානය’ යන්න තේරුම් ගැනීම ට පටිච්චසමුප්පාද විවරණයේදී ඊට පෙර හා පසුව යෙදී තිබෙන ‘තෘෂ්ණාව’ හා ‘භවය’ යන සංකල්ප දෙක ට දක්වන හේතුඵල සම්බන්ධය ද තේරුම් ගැනීම වැදගත්. එහිදී පටිච්චසමුප්පාද අංග තේරුම් ගත යුත්තේ කතෘත්වයකින් තොර අනාත්මවාදී දර්ශනයක පිහිටා ය. එසේ නොමැති වීමෙන් ‘තෘෂ්ණා කරන්නෙක් ඇත’ සහ ‘තෘෂ්ණා කරන්නෙක් නැත’ යන අන්ත දෙකින් එකක ට හෝ ඒ අන්ත දෙකට ම හෝ වැටේ. එවිට ධර්මතාවය යටපත් වී නැවත පුද්ගලභාවයම ඉස්මතු වේ. ‘තෘෂ්ණාව’, ‘දුක’ ට හේතුව වන ආකාරය මූලික බෞද්ධ ඉගැන්වීමක් වන ‘චාතුරාර්ය සත්‍ය’ තුළ විග්රහ වේ. ‘උපාදානය’ තෘෂ්ණාවේ වර්ධනීය අවස්ථාව ලෙස ද හැදින්විය හැකියි. උපාදානය යනු තෘෂ්ණා කරන දේ සිතින් අල්ලාගැනීම යි. එනිසා දැඩිව අල්ලා ගන්නේ කුමක්ද? එය සිදුවන්නේ කෙසේද? යන්න බුද්ධ භාෂිතය අනුව විමසා බැලීම වටී.
මහණෙනි, උපාදාන කවරේද?.
''මහණෙනි, කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යි උපාදාන සතරෙකි. මහණෙනි, මේ උපාදාන ය යි කියනු ලැබේ (සංයුක්ත නිකාය).''
බුද්ධ දේශනය ට අනුව උපාදානය සතර ආකාර ය. කාම උපාදානය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ඉන්ද්‍රීය පිනවන ප්‍රියමනාප කාම වස්තූන් තමන් සතු ලෙස සිතින් දැඩිව අල්ලා ගැනීම යි (ගේ-දොර, යාන-වාහන, රන්-රිදී, ඉඩ-කඩම්). බොහෝ සෙයින් එම කාම වස්තු භුක්ති විඳීමේ ආශාවෙන් මිනිසා නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා, වංචා දූෂණ, හොරකම් සිදු කරයි. කාම සැපය ඇත්තේ එම ද්‍රව්‍ය හෝ භාණ්ඩ තුළ යන හැගීම ඊට ප්‍රධානතම හේතුවයි. එම නිසා ද්‍රව්‍ය, වස්තු හෝ භාණ්ඩවල සැබෑ ස්වභාවය, බිඳෙන, දිරාපත්වන, අනිත්‍ය ස්වභාවය නුවණින් විමර්ෂණය කළ යුතුය. එවිට පහත සඳහන් ආකාරයේ ප්‍රතිලාභයක් හිමි වේ.
"පින්වතුනි, ඔබට පුළුවන් ඔබ පරිහරණය කරන ගෙවල් දොරවල්, යාන වාහන, බඩු මූට්ටු, බෙහෙත් හේත්, ආදි සෑම දේකම අර්ථය නුවණින් විමසලා පරිහරනය කරන්න. මහා කාරුණික බුදුරජාණන්වහන්සේ පෙන්වල දුන්නේ යම් දෙයක් පාවිච්චි කරද්දි නුවණින් සලකලා පාවිච්චි කරනවා නම් එය මුල් වෙලා පීඩාකාරී ප්‍රශ්න ඇතිවෙන ආශ්‍රවයන් හටගන්නේ නැහැ. නුවණින් සලකලා පරිහරනය කිරීම තුළින් ආශ්‍රවයන් ප්රහාණය වෙනවා කියලයි (ඥාණදීප හිමි 2006. 41)."
ලෝකය සදාකාලික යැයි සිතා, තමන් කරන දේ විපාක නොදැන, අකුශල කර්ම සිදු කිරීමේ දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටි කෙරෙහි දැඩි ඇලීම ‘දිට්ඨි උපාදානය’ වේ. පෘථග්ජනභාවය ඉක්මවීමට ද දිට්ඨිය දැක, දිට්ඨිය ඇතිවන ආකාරය දැක එය දුරු කිරීමේ ප්‍රතිපදාව අනුගමනය කළ යුතුය.
"ආශ්‍රැතවත් පෘතග්ජනයා දිට්ඨිය නොදන්නේය. දිට්ඨිසමූදය නොදන්නේය. දිට්ඨිනිරෝධය නොදන්නේය. දිට්ඨිනිරෝධගාමිණී පටිපදාව නොදන්නේය. ඔහුගේ ඒ දිට්ඨිය වඩාත් වැඩෙයි. හේ ජාතියෙන්, ජරාමරණයෙන්, ශෝකයෙන් වැළපීමෙන්, දුකෙන්, දොම්නසෙන්, උපායාසයෙන් නොමිදෙයි. (සසර) දුකෙන් නොමිදේ යයි කියමි (ඤාණානන්ද හිමි 2017. 19)''.
වැරදි සීලවෘත අනුගමනය කිරීම ‘සීලබ්බත උපාදානය’ යි. බුද්ධ ශාසනය තුළ සීලබ්බත උපාදානය නොමැති බව සඳහන් වේ. හොරකම්, වංචා දූෂණ සිදු කරන මිනිසුන්ගේ සිත් තුළ අධික බියක් නිදන්ගතව පවතී. තමන් දැඩි තෘෂ්ණාවෙන් රැක බලා ගන්නා කාම වස්තු අන්සතු වේ යැයි විනාශ වේ යැයි යන සැකය ද ඔවුන් තුළ ඇත. එම නිසා තමන්ට යහපතක් උදාවේ දැයි සිතා නොයෙකුත් යාගහෝම, පුද පූජා, පොල් ගැසීම්, යැදීම්, කන්නලව් ආදිය සිදු කරනු ලබයි. ඇතැම් දේශපාලකයින් හා සාමාන්‍ය මිනිසුන් ද ප්‍රසිද්ධියේම එවැනි ක්‍රියාවල නිරතවන අයුරු ජනමාධ්‍ය මගින් ද විකාශනය කරනු දක්නට හැකියි. නමුත් සීලය ක පිහිටි පුද්ගලයා එවැනි ක්‍රියාව නොයෙදෙයි. වචනයෙන් හා කයින් කරනු ලබන වැරදි සහගත ක්‍රියාවල ට යොමු නොවෙයි. අන් අය ට පීඩාවක් නොවන අයුරින් තම ජීවිතය හැඩගස්වා ගනී.
තමන්ගේ රූපය ආත්ම වශයෙන් ගෙන ආත්ම සංකල්පය දැඩිව සිතින් අල්ලා ගැනීම ‘අත්තවාද උපාදානය’ යි. එය ට ගැළපෙන උදාහරණ බොහෝ ඇත. ඇතැම් උපාසිකාවන් පන්සල ට යන්නේ රූපලාවන්‍ය කටයුතු සිදු කරගෙන ඉතා ආඩම්බරයෙනි. අවුරුදු හැත්තෑවක් වයස ගියත් බොහෝ උපාසක උපාසිකාවන්ගේ හිසකෙස් කලූ පැහැයෙන් දිස්වේ. ඔවුහු ඒවා කෙදිනකවත් සුදු පැහැ ගැන්වී නොමැති අයුරින් සගවා තැබීමට උත්සාහ ගනිති. හම රැලි වී එල්ලා වැටීම නතර කරගැනීම ට නොහැකිව පසුතැවෙමින් එය සගවා ගැනීම ට මුහුණේ ආලේප ද තවරති.
"ලෝකයේ ඇති සෑම දෙයකට ම ඒ ඒ දෙය නසන විරුද්ධ දෙයක් ද ඇත්තේ ය. තණ්හාව ට විරුද්ධ තණ්හාව නසන දෙයක් ද ලොව ඇත්තේ ය. තණ්හාව සත්ත්ව සන්තානයෙන් බැහැර නො කළ හැකි ය. ආයුධයකින් හෝ ගින්නෙන් දියෙන් හෝ නො නැසිය හැකිය. එය සත්ත්ව සන්තානයෙන් බැහැර කළ හැක්කේ එයට විරුද්ධ එය බැහැර කරන නසන දෙයක් සන්තානයෙහි ඇති කිරීමෙනි. ආලෝකය ඇති කළ කල්හි අඳුර දුරුවී යන්නාක් මෙන් තණ්හාවට විරුද්ධ ධර්ම සන්තානයෙහි ඇති කළ කල්හි තණ්හාව චිත්ත සන්තානයෙන් බැහැර වන්නේ ය, නැසෙන්නේය (චන්දවිමල හිමි 1991. 167)."
බෞද්ධයෙකු නම් ශරීරයේ ජරා මරණ ස්වභාවය දැක පසුතැවීම නවතා ත්රිලක්ෂණය අවබෝධ කර ගනිමින් සියලූ උපාදානයන් ට හේතුවන තණ්හාව දුරු කිරීමේ වෑයමක නිරත වෙයි. එම නිසා ඉහත උපුටාගැනීම තුළ පවතින අන්තර්ගතය අවබෝධ කර ගැනීම බෞද්ධයා ට ඉතා වැදගත් වන්නේය.
තෘෂ්ණාව හා දේශපාලන උම්මත්තකභාවය.
තෘෂ්ණාවෙන් යුක්තව ‘මගේ’ යැයි සිතා බාහිර වස්තු හෝ පුද්ගලයින් ට අයිතිය කියාගන්නා තරමට ‘මම’ නැමති හැගීම වඩාත් තීව්ර වේ. තමන් විසින් කරන ලද යම්කිසි කාර්යයක් හෝ තමන් ට අයිතිව පවතින වස්තුවක් හෝ දේපළක් පිළිබඳ අන් අය හොඳින් දන්නා බව, පිළිගන්නා බව තමන්ට දැනෙන තරමට මානය ද වැඩෙයි. උදාහරණයක් ලෙස, දේශපාලඥයින්ගේ ප්‍රසිද්ධ කතා තුළ ඇතුළත් ‘ඒක මගේ කාලේ කරපු වැඩක්’, ‘මගේ ව්‍යාපෘතියක්’ යනුවෙන් සිදුකරන ප්‍රකාශ තුළ ඇත්තේ ද මමායනය නැතිනම් බුදුදහමේ ඉගැන්වෙන ‘සක්කාය දිට්ඨීය’ ම මිසක අනෙකක් නොවේ.
සමාජ පිළිගැනීම නැතිවේ යන බිය නිසා තමන් කළ කිසියම් කාර්යයක් අසාර්ථක නම් එහි වගකීම භාරගැනීම ට කිසිවෙකුත් ඉදිරිපත් නොවේ. එහි වගකීම වෙනත් පාර්ශවයකට පවරා ඉන් නිදහස් වේ. වැරැද්ද නිවැරදි කර ගැනීම ට බොරු රාශියක් පවසයි. විටෙක තමන් පැවසූ දෙයක් පසුව එසේ නොවේ යැයි පවසමින් කරුණු ගෙනහැර දක්වයි. තමන්ගේ වැරදි සගවා ගැනීමේ අරමුණින් හැකි තරම් අනෙකාගේ වැරදි ම ප්‍රචාරය කරයි. මේ වන විට අප ජීවත් වන්නේ එවැනි දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන මිනිසුන් වෙසෙන සමාජ-දේශපාලනික පසුබිමක ය. තමන් බෞද්ධයින් යැයි ප්‍රකාශ කරන මිනිසුන් සිය ලෞකික අපේක්ෂා සාක්ෂාත් කරගැනීමේ අරමුණින් සිදු කරන ක්‍රියා දෙස අවධානයෙන් බලන්නේ නම් එවැනි දෙබිඩි පිළිවෙත් බහුලව හඳුනාගත හැකියි. ඒ අතර එක් එක් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් අනෙකා විරසක කර තමන් ම ඉස්මතු වීම ට දරන උත්සාහයන් ද බහුලව ප්‍රදර්ශනය වේ.
සමාජ-දේශපාලනික රැලි දැඩිව ග්‍රහණය කර ගැනීම දේශපාලන පක්ෂ මත්තේ තම චින්තනය මෙහෙයවන පුද්ගලයා සතු පුරුද්දකි. එක්තරා ආකාරයකට ඔවුහු ඒ තුළින් තාවකාලික වින්දනයක් ලබති. දේශපාලකයින්ගේ ප්‍රකාශවල එල්බ සිටිමින් දේශපාලනික ප්රවණතා තෘෂ්ණාවෙන් දැඩිව අල්ලා ගනිති. එම ප්රවණතා බිඳ වැටෙනවිට නව ප්රවණතා කෙරෙහි විශ්වාසය තබා ඒ අනුව කටයුතු කරති. තමන් කැමති දේශපාලන පක්ෂයක මතය සමාජ ගත කිරීමේ අරමුණින් ගහමරා ගනිති. බොහෝ අයගේ අවසාන අරමුණ රට, ජාතිය, සමාජය ගොඩනැගීම නොව තමන්ගේ පුද්ගලික ලාභ අපේක්ෂාවන් ඉටු කරගැනීම ය. ඒ අරමුණින් බුදුරාජාණන්වහන්සේටත් නොදෙවෙනි ආකාරයෙන් නොවඳිනා වැඳුම් වැඳ හිස් මුදුනේ තබා පිළිගනිමින් දේශපාලඥයින්ගේ පසුපස යති. නමුත් සුළු පිරිසකට හැරෙන්න ට බොහෝ පුද්ගලයින් ට ඉතිරි වන්නේ කනස්සල්ලය හා ඉච්ඡාභංගත්වය පමණි. තිසරණයේ පිහිටා කටයුතු කිරීමේ වැදගත්කම ඔවුනට අමතක වී ඇත.
ඒ වෙනුවට දේශපාලඥයෝ තෘෂ්ණා බරිතව තමන් හා සිය නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් සීමාවකින් තොරව මහජන මුදල් සොරකම් කරති, වංචා කරති, නැති නාස්ති කරති. උපරිම කාමභෝගී සැපසම්පත් විඳිති. කෝටි ගණන් වටිනා ගේ-දොර, යාන-වාහන භාවිත කරමින් රට ගොඩනගන බව ට පොරොන්දු දෙති. සමාජ ශුභසාධනය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති සමිති සමාගම් වල ඉන්නා ඇතැම් නිලධාරීහු ද දේශපාලඥයින් මෙන් සමාජ ශුභසාධනය පසෙකලා පුද්ගලික ලාභ අපේක්ෂාවන් පසුපස යති. අද හොඳ වේ, හෙට හොඳ වේ යැයි සිතා තම ලෞකික අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අරමුණින් මහජනතාව දේශපාලඥයින් පිළිබඳව විශ්වාසය තබාගෙන කාලය ගෙවති. දේශපාලඥයින් විසින් කොතෙක් වැරදි සිදු කළ ද ඔවුන් වෙනුවෙන් බෙදී වෙන්වී කටයුතු කරති. එවැනි පුද්ගලයින්ගේ මනසින් බුදුන් සරණයාම පිළිබඳ හැගීම නිරායාසයෙන් ම ගිලිහී යයි. බෞද්ධයින් ලෙස පෙනී ඉන්නා දේශපාලඥයා ද සිය වරප්‍රසාද භුක්ති විඳිමින් හැකි තරම් නොමැරෙන සත්ත්වයෙකු සේ ජීවත් වීම ට උත්සාහ ගනියි. දේශපාලන වාසි ලාබා ගැනීමේ අරමුණින් සියල්ලෝම බෞද්ධකම රග දක්වති. එහි සත්‍ය අසත්‍යතාව මැනවින් පැහැදිලි කර ගැනීම ට බෞද්ධයා යනු කවුද?, සරණාගමනය යනු කුමක්ද? යන කාරණා පිළිබඳව පවතින පැහැදිලි හා නිරවුල් අවබෝධය පමණක් ප්‍රමාණවත් වේ.
තෘෂ්ණාව ට දාසකම් කරන නාමික බෞද්ධයෝ.
සුනාමිය, නායයාම්, ගංවතුර, සුළිසුලං වැනි ස්වාභාවික ආපදාවක් වූ අවස්ථාවලදී ‘‘අනේ වෙච්ච දෙයක්’’, ‘‘මේ ලෝකේ ස්වභාවයනේ’’, ‘‘ගසාගෙන යනකොට අල්ලලා නතර කරගන්න බෑනේ’’, ‘‘කිසිම දේකට තණ්හා කරන්න හොඳ නෑ’’, ‘‘අපිත් ඉතින් කවදාහරි හැමදේම දාලා මැරිල යනවනේ’’, වැනි ප්‍රකාශ අසන්නට ලැබේ. කිසිවක් උපාදානය කර නොගත යුතුය යන හැගීම ඉස්මතු වන්නේ තමන්හට ස්වාභාවික විපතක් සිදු වූ අවස්ථාවකදී ය. එවිට සෑම මොහොතකම තිසරණයේ පිහිට මතක් වේ. නිතර නිතර පිරිත් සජ්ජායනය ද කරයි, භික්ෂූන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගැනීමට යයි. සතිගණන් බෝධිපූජා පිංකම් පවත්වනු ලබයි.
අඩු වයසින් යම් කෙනෙකු මියගිය අවස්ථාවක, පිළිකාවක්, දරුණු රෝගයක්, රිය අනතුරුක් වැනි දෙයක් සිදුවූ අවස්ථාවකදී ද එවැනි හැගීම් ඉස්මතු වේ. ඒ හැරෙන්නට සාමාන්‍යයෙන් අනෙකුත් වෙලාවට ජීවිතය සම්බන්ධව හෝ අවට ලෝකය සම්බන්ධව නොඇලීමක්, කලකිරීමක් ඇති නොවේ. ලෝකය සදාකාලික සේ සිහින ලෝකවල අතරමං වී අසිහියෙන් වාසය කරයි. ඇති තරම් වැරදි වැඩ කරයි. වැරදි වැඩවල නියැලුණු මිනිසුන්ට ඇතැම්විට ජීවිතයේ අවසාන කාලයේ මරණය පෙනි පෙනී ඉන්නා මොහොතක සියල්ල අනිත්‍ය බව හැගේ. ‘මම’, ‘මගේ’ කියා අල්ලාගෙන සිටිය ද මේ ශරීරය දමා යන්න ට සිදුවන බව දැනෙන විට බියක් හා තැති ගැනීමක් ඇතිවේ. ඒ මොහොත වනවිට කාලය ඉක්ම ගොසිනි. අවසානය ට ඉතිරිවන්නේ බිය හා තැතිගැන්ම ම පමණි.
ජීවිතයේ යථාර්ථය පෙනි පෙනී, ඒ බව අවබෝධ කර ගැනීම ට තරම් බුද්ධි මට්ටමක් තිබියදී ද මුදල් හම්බකරගැනීමේ අරමුණින් පෞද්ගලික රෝහල් හා සායන වෙත දුවන ඇතැම් වෛද්‍යවරු, යෝධ උපකාරක පන්ති පවත්වන ගුරුවරු, අධික මිල ගණන් අයකරමින් සමාජ යහපැවැත්ම උදෙසා දේශන පවත්වන ආචාර්යවරු, අධ්‍යයන කටයුතු සඳහා මගපෙන්වීම් ලබා දීම ට ලිංගික අල්ලස් ලබා ගන්නා මහාචාර්යවරු, වෙළෙඳ භාණ්ඩ, ආහාරපාන ආදිය වංචා සහගතව වෙළඳාම් කරන ව්‍යාපාරකයින්, අල්ලස් ලබා ගන්නා රාජ්‍ය සේවකයින් ආදී සමාජයේ වෙසෙන නොයෙකුත් වෘත්තිකයින්ගේ එවැනි නොමනා කටයුතුවල අවසාන අරමුණ පස්කම් සැප විඳීම නැතිනම් කාම උපාදානය ම වේ. සාධාරණ ක්‍රමවේදයකින් මුදල් උපයාගෙන ලෞකික ජීවිතය සාර්ථකව ගතකිරීම ට උපකාරවන ධර්ම කාරණා ද බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට තිබේ. තමන්ගේ ලෞකික දියුණුව ඇති කර ගැනීම ට මුදල් හම්බකර ගැනීම වරදක් නොවේ. වරද ඇත්තේ සීමාව ඉක්මවා අයතා ක්‍රමවලින්, වංචා සහගතව, සමාජයට අවැඩක්, අයහපතක් වන ආකාරයෙන් එය සිදු කිරීමයි.
මුළුමහත් සමාජය ම මේ වන විට කතාබහ කරමින් සිටින්නේ හොරකම හා වංචාව පිළිබඳව යි. ආයතන ප්‍රධානීන් සහ සෙසු නිලධාරීන් එක්ව කණ්ඩායම්ගතව සොරකම් කිරීම වර්තමාන ප්රවණතාවකි. සොරකමක් හෙළිවුවහොත් ඒ සම්බන්ධව කිහිප දෙනෙකුගේම නම ප්‍රසිද්ධ වේ. බොහෝ ආයතනවල බුදු පිළිමයක් තැන්පත්කර පූජා සත්කාර කරනු ද දක්නට ලැබේ. බුදුරදුන් ඉදිරිපස හොරකම් සිදු කරීම ට තරම් ලැජ්ජාවක් ඔවුනට නැත. ප්‍රසිද්ධියේ ම හොරකම් කරයි, වංචා සිදු කරයි. හොරකම් කරන පුද්ගලයින් නිවැරදි යැයි තහවුරු කිරීම සඳහා ඇතැම් නිලධාරීහූ අල්ලස් ද ලබා ගනිති. ඔවුන්ව නිදහස් කර ගැනීම ට ඉදිරිපත් වෙති. නිදහස් වූ පසු සියල්ලෝම එක්ව ජන මාධ්‍ය ඉදිරියේ ප්‍රීති ඝෝෂා නගති. නමුත් ඒ සියල්ල අමතක කර කිසිවක් නොදන්නා අය මෙන් ඇතැම්හූ දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන වෙත ද ගමන් කරති. සමාජය ඉදිරියේ ද පෙනී සිටිති. එම මුදල්වලින් දානමය කටයුතු ද සිදු කරති.
අදත්තාදාන අකුශල කර්මය සිදුවන ආකාර කිහිපයක් ඇත. පහත උපුටා ගැනීමෙන් ආකාර දෙකක් විස්තර චේ. එමගින් පැහැදිලි වන්නේ සොරකම ට සම්බන්ධවන සියලූ පාර්ශවයන් අතින් එම අකුසලය සිදු වන බව යි. සොරකමක් කර සැගව සිටිය ද සමාජය ට ප්‍රදර්ශනය වන සේ කුමන ආගමික කටයුක්තක් සිදු කළ ද තමන් සොරෙකු බව ඔහුගේ සිත ඔහු ට පවසා සිටී. සිදුකරන ලද අකුසලයෙන් පැන යා නොහැකි වේ.
"කීප දෙනෙකු එක් වී සොරකම කිරීම එක් ක්රමයකි. යම්කිසි සොරකමක් කිරීමට කථා කර ගෙන සොරකමට ගිය පිරිසෙන් එකකු විසින් බඩුව ගත් කල්හි සෑම දෙනට ම අදත්තාදාන කර්මය සිදු වේ (චන්දවිමල හිමි 2006)."
"භාණ්ඩ සොරකම් කර ගැනීමට පළමුව ම පූර්ව ප්‍රයෝගයෙන් අදත්තාදාන පාප කර්මය සිදුවීම, ඇත්තා වූ එක් අදත්තාදාන ක්රමයකි. මෙහි ප්‍රයෝග යැයි කියනුයේ අන් සතු වස්තුව ගැනීම පිණිස කරන උත්සාහයටය. අනුන් ලවා සොරකම් කරවීමේදී කෙනකුට සොරකම් කිරීමට නියෝග කිරීම එක් ප්‍රයෝගයකි (චන්දවිමල හිමි 2006)."
සොරකම් හෝ වංචා කිරීම පිටුපස පවතින සමාජ දෘෂ්ටිවාදයක් වන්නේ ‘ධනය එක් රැස් කරගෙන සිටින පුද්ගලයින් ඉතා හොඳින් ප්‍රීතිමත්ව තම ජීවිතය ගත කරන්නේය’ යන අදහසයි. එසේම මේ පිටුපස පවතින තවත් කාරණයක් වන්නේ මිනිසා නූතන පරිභෝජන සංස්කෘතිය ට දක්වන ඇල්ම යි. සතුට ඇත්තේ භෞතික දේපල හා භාණ්ඩ ආදියෙහි යැයි සිතා හැකි තරම් ඒ දේවල් එක්රැස්කර ගනී. ඒ හේතුවෙන් ආදායම හා අවශ්‍යතා අතර පවතින හිඩැස මුල්‍යමය පීඩනයක් බවට හැරේ. එම නිසා සෑම විටම මනස තුළ මුදුන්පත්වන්නේ මුදල් එක්රැස්කර ගැනීමේ පරමාර්ථය යි. මෙය සිදුවන්නේ ගින්නක් මෙන් තමන්ගේ සිතෙහි වහ වහා ඇවිලෙන තෘෂ්ණාව මුල් වීමෙන් හා එය හේතුකොටගෙන කාම වස්තු කෙරෙහි ඇති දැඩි ඇලීම නොහොත් උපාදානය නිසා බව නොපෙනෙන තරමට මෝහය බලවත් වී ඇත.
"ගරු කටයුත්තනට ගරු කිරීම ද, මන් නැති බව ද (නිහතමාන බව) ද, ලද දෙයින් සතුටු වන බව ද, කළ ගුණ දන්නා බව ද, සුදුසු කල්හි බණ ඇසීම ද යන මේ (එක එකෙක්) උතුම් මගුල්ය (මංගල සූත්‍රය)."
ඉහත සඳහන් වන්නේ ත්‍රිපිටකයේ අන්තර්ගත බුද්ධ වචනයෙන් කොටසකි. බෞද්ධයින් වන බොහෝ දෙනා මෙවැනි සූත්‍රයක් ඇති බව දනිති. පුරුද්දක් ලෙස ගුවන්විදුලියෙන් හෝ රූපවාහිණියෙන් උදේ සවස ප්‍රචාරය කෙරෙන පිරිත් දේශනා තුළින් ද මෙම සූත්‍රය ශ්‍රවණය කරති. එහෙත් එහි අර්ථය නුවණින් විමසා නොබලති. ඒ හෙයින් ඔවුන්ගේ සිත් තුළ මිල මුදල්, ලෞකික සැපසම්ත්, පොත පත කියවීමෙන් ලබාගත් උපාධි ගරු නම්බු ආදියෙන් නිහතමානී බව පරයා මානය ම ඉස්මතු වේ. ඔවුහූ ධනය, දේපල හෝ නම්බු නාමයේ ම වහල්ලූ වෙති. ලද දෙයින් සතුටු නොවෙති, තමන්ගේ ගමන් පහසුව සඳහා වාහනයක් ඇත්නම් ඒ වාහනයෙන් සෑහීමට පත් නොවෙති, සෑමවිටම ඊට වඩා මිල අධික සුඛෝපභෝගී වාහනයක් පිළිබඳ සිහින මවති. සිහිනය සැබෑ කර ගැනීම සඳහා හොරකම්, වංචා දූෂණ සිදු කරති. වයසට ගොස් ලෙඩ ඇඳට වැටෙන තෙක් ධර්ම ගවේෂණයක් නොකරති. සුදුසු කල්හී ධර්මය ද ශ්‍රවණය නොකරති.
වර්තමාන සමාජයේ වෙසෙන පුද්ගලයින්හට ධර්මය ගවේෂණය කිරීම ට, අධ්‍යයනය කිරීමට හෝ පිළිවෙත් පිරීම ට වේලාවක් නොමැති තරම්. ඔවුනට ඊට වඩා කාලය කැප කරමින් සිදු කිරීම ට බෙහෝ කටයුතු තිබේ. විවේකයක් ලැබෙන බොහෝ අවස්ථාවල ඕපාදූප සොයා බැලීම සදහා වැඩි කාලයක් වෙන් කර ඇත. තාක්ෂණික දියුණුව මෙය වේගවත් වීම ට බලපා ඇති එක් හේතුවකි. ඕපාදූප යනු තමන්ගේ පුද්ගලික දේවල් හෝ අනුන්ගේ පුද්ගලික දේවල් පිළිබඳව සිදුකරන නිශ්චල කතා හෝ කටකතා වෙයි. සමාජ මාධ්‍ය තුළ වැඩිවශයෙන් ම සිදුවන්නේ මෙවැනි දේ ය. ඒ වෙනුවෙන් ම නිෂ්පාදනය කරන ලද ඕපාදූප වෙබ් අඩවි ද ඇත. ඕපාදූප ඉදිරිපත් කරන රූපවාහිණී හා ගුවන්විදුලි වැඩසටහන් ද ඇත. ඇතැම් අවස්ථාවල ප්රවෘත්ති ලෙස විකාශය කරන්නේ ද ඕපාදූප ය. ප්රවෘත්ති ලෙස විකාශය කරන දේශපාලකයින්ගේ කතා වැඩි වශයෙන් පිරී පවතින්නේ ද ඕපාදූපවලිනි. කුණුහරප හෝ පරුෂ වචන ද එවැනි කතාවල අන්තර්ගතයි. සමාජ ආදර්ශයකින් යුතුව තම තමන්ගේ ජීවිත හැඩගස්වා ගත යුතුය යන්න නොතකා මෝඩබව ම රග දක්වයි.
"යම් වචනයක් කී කල්හි අසන්නා වූ නැනැත්තාට තමා ප්‍රියයකු වී අනෙකකු අප්‍රිය වේ ද ඒ වචනය පිශුන වචනය නම් වේ. තවත් ක්‍රමයකින් කියතහොත් සමගියෙන් සිටින දෙදෙනෙකු භේද කරවීම පිණිස කියන්නා වු වචන පිශුන වචන නම් වේ. කේලාම් කිමය යි කියනුයේ ද පීශුන වචන කීමට ය, කේලාම් කීම වූ පාපකර්මයට පිශුන වචනය යි ද පිශුනාවාචා ය යි ද කියනු ලැබේ (චන්දවිමල හිමි 2006).''
''අසන කියන දෙපක්ෂයට ම වැඩක් නැති කථාවක් කියන අදහස ය. එ බඳු කථාවක් කීමය යන අංග දෙකින් සම්ඵප්‍රලාප අකුශලය සිදු වේ. සම්ඵප්‍රලාප කියන තැනැත්තා අනුන්ගේ කාලය නසන්නෙකි. අන්‍යයන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නෙකි. එබැවින් සම්ඵප්‍රලාප කීම පාපයකි (චන්දවිමල හිමි 2006).''
ඉහත සඳහන් වන්නේ ද බෞද්ධ යැයි කියන මිනිසුන් විසින් සිදු කරන තවත් ප්‍රධාන අකුසල කර්ම දෙකකි. සමාජයේ වෙසෙන බොහෝ පිරිස් පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක, සේවා ස්ථානයක කිසියම් රැකියාවක නිරතව සිටිති. එම ස්ථානවල සිටින පුද්ගලයින් විසින් බොරු (පිශුන වචන), කේලාම් කියා ආයතන ප්‍රධානීහු හා සේවකයෝ විරසක කරවනු ලබති. ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන් හා තණ්හාවෙන් මත් වී තම තමන්ගේ උසස්වීම් හා වෙනත් බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා එකිනෙකා භේද කරවති. ඒ වෙනුවෙන් හැකි තරම් අනුන්ගේ පෞද්ගලික ජීවිතය දෙස අවධානයෙන් සිටිති, පෙත්සම් ලියති. නමුත් මෙවැනි දේ සිදු කරමින් බස් රථයක නැග සේවය ට යන අවස්ථාවල බෝධියක්, විහාරයක් දුටු විගස අසුනින් නැගිට වන්දනා කරති. සේවා ස්ථානයේ බුදු කුටියක් ඇත්නම් වන්දනා කරති. සැබැවින්ම මෙවැනි ගති ලක්ෂණ ඇති පුද්ගලයින් නාමික බෞද්ධයින් නොවන්නේ ද?. එය බෞද්ධයින් හට කරන නින්දාවකි. සැබෑ බෞද්ධයෝ එසේ නොවන අතර බුදුරජාණන්වහන්සේගේ සැබෑ ශ්රාවකයින්, අනුගාමිකයින් වී ධර්මය ම පිහිට කර ගනිති, ධර්මයෙහි හැසිරෙති.
වාහනයේ, නිදන කාමරයේ, මේසය ඉදිරියේ බුද්ධ රූප අලවා හෝ ආයතන ඉදිරියේ, මංසන්දි ඉදිරියේ බුද්ධ ප්‍රතිමා තැන්පත් කර ඒ දෙස බලා සිට දහසක් බලාපොරෙත්තු ඉෂ්ඨ සිද්ධ වේවා යැයි ප්‍රාර්ථනා කිරීම ඵලක් නැති වැඩකි. ඉන් අදහස් කරන්නේ බුදුරදුන් වන්දනාමාන කිරීම ඵලක් නොවන බව නොවේ. බුදුරජාණන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ යුතු ධර්ම කාරණා සියල්ල වදාළ සේක. බුද්ධ දේශනාවෙහි ම සඳහන් ආකාරය ට බුදුරදුන් හට ගෞරව කරන්නේ නම් අප විසින් කළ යුතුව තිබෙන්නේ හැකිතාක් ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා වීර්යය වැඩීම යි. ධර්මය දැකීම ට නුවණ මෙහෙයවීම යි.
"‘යෝ ඛො වක්කලී ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සො ධම්මං පස්සති’.
‘වක්කලී යමෙක් මා විසින් වදාළ ධර්මය දකිනවාද ඔහු මා දකිනවා. යමෙක් මා දකිනවාද ඔහු මා විසින් වදාළ ධර්මය දකිනවා’ (වක්කලී සූත්‍රය, සංයුක්ත නිකාය)."
‘වක්කලී යමෙක් මා විසින් වදාළ ධර්මය දකිනවාද ඔහු මා දකිනවා. යමෙක් මා දකිනවාද ඔහු මා විසින් වදාළ ධර්මය දකිනවා’ (වක්කලී සූත්‍රය, සංයුක්ත නිකාය)."
විශේෂයෙන් වර්තමාන තරුණ සමාජය බෞද්ධකම විලාසිතාවක් බවට පත්කරගෙන සිටී. පහත සඳහන් කාරණය නුවණැතියන් විසින් විමර්ෂණය කළයුතු කදිම නිදසුනකි. තරුණයෙකු ට හෝ තරුණියක ට තම පෙම්වතිය හෝ පෙම්වතා අහිමිවීමෙන් ඇතිවන දුක්ක දෝමනස්සය දරා ගැනීමට නොහැකිව හඩාවැළපෙන ආකාරය අන්තර්ගත ගීත අඳෝනා අප ට නිතර අසන්නට ලැබේ. තරුණ සමාජයේ පරමාදර්ශ බවට පත්ව තිබෙන්නේ එවැනි ගීත ගායනා කරන ගායක ගායිකාවන් ය. නමුත් එවැනි තරුණ තරුණියන් තමන්ගේ මෝටර් සයිකලයේ, ත්‍රීරෝද රථයේ, මෝටර් රථයේ, බස් රථයේ තමන් බෞද්ධයෙකු බවත් එය පැවසීම පිළිබඳව තමන් ආඩම්බර වන බවත් පැවසෙන වැකි ප්‍රදර්ශනය කරමින් අලවා තිබේ (I am Buddhist, i am proud to say that). මෙවැනි නොගැළපීම් තුළින් පැහැදිලි වන්නේ බෞද්ධකම පිළිබඳ ඔවුනට කිසිදු අවබෝධයක් නොමැති බවයි. තමන්ගේ අභිමතය පරිදි පෙම් සබඳතා පවත්වාගෙන යාමට අවශ්‍ය අවසරය නොලැබෙන අවස්ථාවක ඔවුන් තුළ පවතින ආඩම්බරකම සත්‍ය එකක් ද අසත්‍ය එකක් ද යන්න නිවැරදිව ඔප්පු වන්නේය. පෙම්වතිය හෝ පෙම්වතා නොලැබෙන්නේ නම් සියදිවි නසා ගනී, අනෙකා මරා දමයි, දෙමාපියන් හැරදමා යයි, මිතුරන් සමග ගැටුම් ඇතිකර ගනී. එමගින් පැහැදිලි වන්නේ එවැනි මිනිසුන්ගේ බෞද්ධකම ප්‍රදර්ශනය ට අලවා ඇති වැකිවලට පමණක් සීමා වී ඇති බව යි.
"මහණෙනි, ඉදින් යම් මහණෙක් (මාගේ) සඟළ සිවුරු කොණ අල්ලා ගෙණ (මාගේ) පියවරෙහි පියවර තබමින් පසුපසින් ලුහුබඳනේ වේ ද, හේ තෙමේත් අධික ලෝභී වූයේ, පස්කම් සැපයෙහි තියුණු ඇලූම් ඇත්තේ, විපරීත සිත් ඇත්තේ, දූෂිත චිත්තසංකල්පනා ඇත්තේ, මුළා සිහි ඇත්තේ, සම්‍යයක් ප්‍රඥා නැත්තේ, එකඟ වු සිත් නැත්තේ, විශේෂයෙන් තැති ගත් සිත් ඇත්තේ, පියෙවි ඉඳුරන් ඇත්තේ, (ඉන්ද්‍රීයසංවරය නැත්තේ) වේ ද, එසේ ඇති කල්හි ඒ මහණතෙම මට දුරෙහි වේ. මම ද ඔහුට දුරෙහි වෙමි. මහණෙනි, ඒ මහණතෙම නව ලොවුතුරාදහම් නොදකී. ධර්මය නොදන්නේ මා නොදන්නේය (ඛුද්දක නිකාය. සංඝාටිකර්ණ සූත්‍රය)."
ගිහියන් වන අප විසින් සංඝයා පිළිබඳ කාරණා සාකච්ඡාවට ලක් කිරීම නුසුදුසු වුවත් ගිහි සමාජය ට වැදගත්වන කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතමි. භික්ෂු සමාජය මුල් කරගනිමින් දේශනා කර ඇති ධර්ම කාරණා ගිහියන්ට ද එකසේ වැදගත් වේ. බෞද්ධ ගිහි සමාජය ආරක්ෂා කර ගැනීම ට හා ඔවුන් නිසි මග පිහිටුවීම ට පැවිදි සමාජයෙන් ලැබන ආදර්ශය අති උතුම් ය. නමුත් රූපවාහිණියේ විකාශයවන දේශපාලන කටයුතුවල නියැලෙන ඇතැම් භික්ෂූන්වහන්සේලාගේ හැසිරීම් දෙස බැලීමේදී පහත සහ ඉහත සඳහන් උපුටා ගැනීම්වල අන්තර්ගතය අහස ට පොළව සේ දිස් වේ.
"සාරිපූත්ත මහරහතන් වහන්සේ වදාළා, භික්ෂුවක් පිණ්ඩපාතේ වැඩම කරද්දි මිනිසුන්ගෙන් ඉතාම කර්කශ නපූරු වචන වලින් බැනුම් අහන්න ලැබෙනවා. එතකොට හිතන්න කියනවා, කණයි, ශබ්දයයි, ව්ඤ්ඤාණයයි එකතූ වීම නිසයි, ඒ ශබ්දය මට අහන්න ලැබුනේ. මේ කණත් අනිත්‍ය යි, ශබ්දයක් අනිත්‍ය යි, විඤ්ඤාණයත් අනිත්‍ය යි. මේ කරුණු තුන එකතූ වීම නිසා එනම් ස්පර්ශය නිසා හටගත් යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය යි. මේ විදියට ඒ මොහොතේදීම විදර්ශනා වඩලා අතහරින්න කියනවා (ඥාණදීප හිමි 2006. 44)."
තමන් නිවරදිව බුදු දහම දේශනා කරන්නේ යැයි පවසන, ත්‍රිපිටක ධර්ම කාරණාවල නිරුක්ති හා අර්ථ තමන්ගේ කල්පනාව අනුව විකෘතිකර දේශනා කරන, පන්සල්, විහාර-ආරාම වෙනුව ට පුද්ගලික නිවාසවල වාසය කරන, සුඛෝපභෝගී ජීවිත ගත කරන, අන් භික්ෂුන් නිර්දය ලෙස ප්‍රසිද්ධිය විවේචනය කරන, ක්‍රෝධ සහගතව බැනවදිමින් සමාජ මාධ්‍ය ට වීඩියෝපට නිකුත් කරන, භික්ෂූත්වයෙන් නෙරපා දමා ඇති තැනැත්තන් සරණ යන පුද්ගලයින් සැබෑ බෞද්ධයින් නොවන බවත්, බෞද්ධ මුවාවෙන් පෙනී සිට වෙනත් දහමක් දේශනා කිරීම ට උත්සාහ ගන්නා පරිසක් බව අවබෝධ කර ගත යුතු ය. වර්තමානය වන විට ස්වකීය අභිමතය පරිදි ත්‍රිපිටකය කියවා ධර්ම කරුණු අවබෝධ කර ගැනීමේ පහසුකම් වර්ධනය වී ඇත.
සරණාගමනය පිළිබඳ අනවබෝධය.
බොහොමයක් රථවාහනවල ‘බුදුසරණයි’ යන පාඨය අලවා තිබේ. නැතිනම් රියදුරු අසුනට ඉදිරියෙන් කුඩා බුද්ධ රූපයක් තැන්පත් කර තිබෙනු දක්නට ලැබේ. තමන්ගේ උතුම් ශාස්තෘවරයාණන්වහන්සේගේ රූපයක් නිතර දර්ශනය වන ලෙස තබා ගැනීම වරදක් නොවේ. උන්වහන්සේගේ ගුණ නිතර සිහිපත් වීමටත් එය උපකාරයක් වේ. බුදුරජාණන්වහන්සේ සරණ යාමටත් කුසල් සිත් පහල කර ගැනීමටත් එය උපකාර වේ. නමුත් මෙම ක්‍රියාව පිටුපස පවතින අරමුණ හෝ දෘෂ්ටිවාදය වන්නේ කාමභෝගී වස්තුවක් වන වාහනය ට එමගින් ආරක්ෂාවක් සැළසේ ය යන්න නම්, තේරුම්ගත යුත්තේ බුදුරජාණන්වහන්සේ යනු පාරිහාරික වස්තු ආරක්ෂා කරන දේවත්වයක් නොවන බවයි. ‘ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබනවා’ යන්න බුද්ධ දේශනාව බව අමතක නොකළ යුතුය.
එවැනි මිත්‍යා දෘෂ්ටික අදහස් ප්‍රදර්ශනය වන සාක්ෂි සමාජය තුළ බහුලව නිරීක්ෂණය වේ. ‘මෙම රථයට බුදුසරණයි’, ‘මෙම නිවසට බුදුසරණයි’, ‘මෙම ව්‍යාපාරික ස්ථානයට බුදුසරණයි’ යනුවෙන් වැකි අලවා තිබෙනු දක්නට ලැබේ. තෙරුවන් සරණ ගිය තැනැත්තා හෝ තැනැත්තිය ‘උපාසක’ හෝ ‘උපාසිකා’ යන නමින් හඳුන්වනු ලබයි. බෞද්ධයින් ලෙස නිවාස වැනි අචේතනික වස්තුවලට බුදුරජාණන්වහන්සේ සරණ යා හැක්කේ කෙසේදැයි නුවණින් විමසා බැලීම වටී. බෞද්ධයෙකුබවට පත්වීමේ පළමු කාරණය වන්නේ ‘සරණාගමනය’ යි. බෞද්ධයෙකු ට සරණාගමනය පිළිබඳ ව නිරවුල් වූ පැහැදිලි අවබෝධයක් පැවතිය යුතුය.
"බුදුවී එම ආසනයේම සතියක් වැඩහුන්නාවූ බුදුරජාණන්වහන්සේ මෙසේ උදාන වාක්‍ය ප්‍රකාශ කළහ. එම්බා තෘෂ්ණා නමැති වඩුව, දැන් මා විසින් ඔබ දක්නා ලද්දෙහි ය. ඔබ මට නැවත ආත්මභාවය නමැති ගෙය නොකරන්නෙහි ය. ඔබගේ පරාල සියල්ල බිඳ දමන ලදී. කැණිමඩල පලා දමන ලද්දේ ය. මගේ සිත නිවනට පැමිණියේය. තෘෂ්ණාවන්ගේ අවසනට පැමිණියේ ය (තිලකරත්න 2012. 88).''
බුදුරජාණන්වහන්සේ සිංහ නාදයෙන් ප්‍රකාශ කර සිටින උදාන වක්‍යයේ අර්ථය සෑම බෞද්ධයෙකුම දැන සිටීම වැදගත්. අප විසින් පිළිපදින්නේ එවැනි උදාන වාක්‍යයක් ප්‍රකාශ කරන ලද ශාස්තෘන් වහන්සේගේ දහමකි. එසේ තිබියදී අප වාසය කරන නිවස ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් ‘මෙම නිවසට බුදුසරණයි’ යනුවෙන් වැකි ප්‍රදර්ශනය කිරීම කෙතරම් නින්දා සහගත කටයුත්තක් වන්නේ ද?. එවැනි වැකි ප්‍රදර්ශනය කිරීම පිටුපස පවතින්නේ තමන් ආදරයෙන් රැකබලා ගන්නා වස්තුව ට කිසියම් හානියක් වේ ද යන බිය සමග උපදින තෘෂ්ණාව යි.
"බුද්ධාදි රත්නත්‍රය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත්‍රය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නොකරති. මිථ්‍යා දෘෂ්ටිය නැමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙන රත්නත්‍රය සුළුකොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙත් නැත්තා වූ ද දෙවියන්ගේ පිහිට සොයති. රත්නත්‍රය හැඳින ගත්තෝ ම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. යමෙක් බුද්ධාදී රත්නත්‍රය උතුම් පිහිටක් වශයෙත් පිළිගනී නම් ඒ පිළිගැනීම සරණාගමන යයි කියනූ ලැබේ. බුද්ධාදි රත්නත්‍රය උතුම් පිහිට තුනක් සේ පිළිගැනීමෙන් ඵ් තැනැත්තා තිසරණයෙහි පිහිටියේ ය යි ද කියනු ලැබේ. තිසරණයෙහි පිහිටීමෙන් හෙවත් බුද්ධාදී රත්නත්‍රය තමාට ඇති සියල්ලට ම උතුම් පිහිට තුන යයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යන නාමය හිමි වේ. බෞද්ධයා යනු ද ඔහුට නමෙකි (චන්දවිමල හිමි 2006. 28).''
ඇතැම් අය ‘උපාසක’ යන නාමය ලබන්නේ මිය ගිය පසුව යි. එය සිදුකරනු ලබන්නේ සුජීවත්ව ඉන්නා අය විසිනි. ජීවත්ව සිටියදී කුමන ආකාරයේ වංචා, දූෂණ, හොර-මැරකම්, සමාජ විරෝධී ක්‍රියා සිදු කර තිබුණද අවමංගල්‍යය සභාවකදී මිය ගිය අය හඳුන්වා දෙනු ලබන්නේ ‘උපසාක මහතා’ හෝ ‘උපාසිකාව’ යනුවෙනි. එලෙස ‘උපාසක’ හෝ ‘උපාසිකාව’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම බුද්ධ ශාසනය ට කරන නිග්‍රහයක් බව බෞද්ධයින් විසින් අවබෝධ කර ගත යුතුව ඇත. ‘භික්ෂු’, ‘භික්ෂුණී’, ‘උපාසක’, ‘උපාසිකා’ යන අය සිව්වනක් පිරිස ට අයිති කණ්ඩායමකි. බුද්ධ ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපය මත යි. එම නිසා ‘උපාසක’ හෝ ‘උපාසිකාව’ යනු වයසක පුද්ගලයින් හට හෝ මළ පුද්ගලයින් ට හෝ ආමන්ත්‍රණය කරන පදයක් නොවන බවත් ත්‍රිවිධ රත්නය සරණ ගිය කුඩා ළමයෙකු වුවද ඒ නමින් ආමන්ත්‍රණය කිරීම ට සුදුසු බවත් අවබෝධ කර ගැනීම වටී.
මරණ දැන්වීම්වල නැතිනම් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ශෝක පණිවිඩ එක්කර තිබෙන බැනර්වල මියගිය පුද්ගලයා ට ‘නිවන්සැප ලැබේවා!’ යන ප්‍රාර්ථනය ද එක් කර තිබේ. එය සැබැවින් ම ප්‍රාර්ථනයක් මිස කිසිදා සැබෑ නොවන්නකි. නිවන යනු මියගිය පසු ස්වර්ගයේ ඉපදෙන්නාක් මෙන් මරණින් මත්තේ ලැබෙන්නක් නොවේ. නිවන සාක්ශාත් කර ගැනීම යනු ජරාමරණ දුකින් නිදහස් වීම යි. ජීවත්ව සිටියදී ම ලබාගතයුතු අවබෝධයකි. ජීවිත කාලය පුරා පසිඳුරන් පිනවමින් තෘෂ්ණාවේ දාසයන් බවට පත්ව මරණින් මත්තේ නිවනක් අපේක්ෂා කිරීම කිසිසේත්ම බෞද්ධයෙකු ට සුදුසු නොවේ.
සමාලෝචනය.
බුදුදහම ලෝකයේ ප්‍රධාන ආගම් හා දර්ශනවලින් එකකි. එසේම කිසිදු බලපෑමකට යටත් නොවී ස්වාධීනව පිළිපැදිය හැකි, විමසා බලා අනුගමනය කළ හැකි ධර්මයකි. ධර්මය පිළිපදින්නා ට එහි ගුණය මතු එළඹෙන කාලයකදී නොව එදිනෙදාම ලැබිය හැකි වන්නේ ය. තමා තුළින්ම විමසා බැලිය හැකි ගුණ ඇත්තේ ය. මෙහි ඇති විශේෂත්වය වන්නේ තම තමා විසින් ම පෞද්ගලිකව අවබෝධකර ගතයුතු වීම යි. වර්තමාන සමාජයේ වෙසෙන බෙහෝ බෞද්ධයින් හට සිදුව තිබෙන්නේ තමා පිළිබඳව අධ්‍යයනය කිරීම ට තරම් උවමනාවක්, අවශ්‍යතාවක් නොතිබීම යි. ඒ වෙනුවට ඔවුන් අනෙකා ට ඇති දේ හා තමා ට නැති දේ ගැන කල්පනාවෙහි යෙදෙමින් අධික තණ්හාවෙන් ලෞකික අපේක්ෂා ඉටුකරගැනීමේ උමතුවකින් පෙලෙයි. එහි භයානකත්වය වන්නේ කුමන ආකාරයේ හෝ වැරදි ක්‍රියාවක් සිදු කර එම ආශාවන් ඉටු කර ගැනීම ට පෙළඹී සිටීම යි.
මෙම සියලු මානව හැසිරීම් සඳහා හේතුකාරක වන්නේ තණ්හාව යි. තණ්හාව නිසා උපාදානය ඇති වේ. මෙම ධර්මතා අවබෝධකර ගැනීම ට හෝ පිළිපැදීම ට නම් ධර්මය ඉගෙන ගත යුතු ය. උගෙන එය තමා තුළින් විමසා බැලිය යුතුය. පොත-පත ඇසුරු නොකිරීම, ධර්මය ශ්‍රවණය නොකිරීම හා අනුගමනය නොකිරීම, බෞද්ධකම හා සරණාගමණය පිළිබඳව පවතින අනවබෝධය බෞද්ධ සමාජය පිරිහීම ට බලපා ඇති ප්‍රධාන හේතු සාධක කිහිපයකි. ඉහත පෙන්වාදුන් මානව හැසිරීම් තුළින් එය මනාව පිළිබිඹු වේ. එම නිසා රග දක්වන නාමික බෞද්ධකමක් ශේෂ වීම පුදුමය ට කරුණක් නොවේ.
මූලාශ්‍ර
ඤාණානන්ද හිමි, කටුකුරුන්දේ. 2017. පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය. කිරිල්ලවලවත්ත, කටුකුරුන්දේ ඤාණානන්ද සදහම් සෙනසුන් භාරය.
ඥාණදීප හිමි, ගලිගමුවේ. 2006. මේ ජීවිතයේදීම කෙලෙසුන්ගෙන් මිදෙන මග. මහනුවර, නෙලුම්විල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය.
චන්දවිමල හිමි, රේරුකානේ. 1991. බුරුමයේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය. පොකුණුවිට, ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය.
චන්දවිමල හිමි, රේරුකානේ. 2006. බෞද්ධයාගේ අත් පොත. පොකුණුවිට, ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය.
තිලකරත්න, අසංග. (සංස්). 2012. අභිධර්ම අධ්‍යයන. කොළඹ 10, සී/ස/ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම.
බෞද්ධ සිංහල බත් කඩේ යනුවෙන් නම් කර ඇති කෑම කඩයක්. ඡායාරූපය- කසුන් ඉදිකැටිහේවගේ.
පච්චයක් කොටන ලද තරුණයෙකුගේ අතක්. ඡායාරූපය- ජනක අම්බලම්පිටිය.
විශේෂ ස්තුතිය
බණ්ඩාර රාජපක්ෂ ගුරු මහතා ට.
චාරුනී ජයසිංහ මහත්මිය ට.
ඉන්ද්‍රචාපා රුහුණගේ මහත්මියට.
කසුන් ඉදිකැටිහේවගේ මහතා ට.
කුඩා බස් රථයක අලවා ඇති වැකියක්. ඡායාරූපය- ජනක අම්බලම්පිටිය.
පච්චයක් කොටන ලද තරුණයෙකුගේ අතක්. ඡායාරූපය- ජනක අම්බලම්පිටිය.
විශේෂ ස්තුතිය
බණ්ඩාර රාජපක්ෂ ගුරු මහතා ට.
චාරුනී ජයසිංහ මහත්මිය ට.
ඉන්ද්‍රචාපා රුහුණගේ මහත්මියට.
කසුන් ඉදිකැටිහේවගේ මහතා ට.



Comments
Post a Comment